Tuesday, April 21, 2020

ගුවන් තොටුපල අරින්න කලින් සූදානම් වෙන්න! හදිසි සැලසුම් නිසා කොරෝනා මර්ධනයට භාධා ඇති විය හැකියි! - රවී කුමුදේශ්.

කොරෝනා වසංගත තත්ත්වය පාළනය කිරීමේ අනාගත වුවමනාවන් සඳහා වෛද්‍ය රසායනාගාර සේවාව සූදානම් කර තැබීම හැම විටම කලින් සැලසුම් කල යුතු බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිලධාරීන්ගේ සංගමය කියයි.
කොරෝනා මර්ධනය සදහා රසායනාගාර සේවාව භාවිතා කිරීම පිළිබදව තම සංගමය මින් පෙර ලබා දුන් යෝජනා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් බොහෝ ගැටළු නිර්මාණය වී ඇති බවත්, මින් ඉදිරියට සේවාවේ ක්ෂමතාවය උපරිම කර ගැනීම සදහා පූර්ව සූදානම අත්‍යවශ්‍ය බවත් පෙන්වා දෙමින්, ජනාධිපති වරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් වෙත ලිපියක් යොමු කරමින්, එම සංගමයේ සභාපතිවරයා විසින් මේ බව දන්වා යවා ඇත.
ඊට අදාල අත්‍යවශයෙන්ම සලකා බැලිය යුතු කරුණු කිහිපයක්ද දක්වමින් යොමු කරන ලද ලිපියේ පහත කරුණු සදහන් වේ.
කෝව්ඩ් වසංගතය පාලනය කිරීමේදී රසායනාගාර සේවාව සූදානම් කර තැබීමේ වැදගත්කම පිළිබඳව අප දිගින් දිගටම පෙන්වා දුන් අතර ඒ පිළිබඳව පූර්ව වශයෙන් සිදු කරන ලද පුරෝකතනයන් බොහෝමයක් ඒ ආකාරයෙන්ම සැබෑ විය.

නමුත් අදාල අවශ්‍යතා සැපීරීමේදී අපගේ ඉල්ලීම් විධිමත්ව සළකා නොබැලීම හේතුවෙන් බොහෝ සූදානම් වීම් හා ස්ථාපිත වීම් නිශ්චිත කාල රාමුව තුල සිදු කිරීමට නොහැකි වූ බව අප තරයේ විශ්වාස කරමු.
ගුවන් තොටුපළ හරහා රෝගය මෙරටට සම්ප්‍රේෂණය වූ මුල් අවස්ථාවේදී දේහ උෂ්ණත්වය මත පමණක් පදනම්ව රෝගීන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය අසාර්ථක ක්‍රමවේදයක් බවත්, නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය අවසන් කරනු ලබන ආශ්‍රිත ප්‍රජාව කොරෝනා හඳුනා ගැනීමේ රසායනාගාර පරීක්ෂණයකින් තොරව මුදවා හැරීම ගැටළු සහගත විය හැකි බවත් අප එසේ පෙන්වා දෙන ලදී.
එහිදී රෝග ලක්ෂණ නොමැති අසාධිතයන්ගෙන් රෝගය බෝවීමට ඇති ඉඩකඩ පිළිබඳව මීට වඩා වැඩි සැළකිල්ලක් දැක්විය යුතු බව අප දිගින් දිගටම පෙන්වා දුන් අතර රට යථා තත්ත්වයට පත් කිරීමට තීරණය කර ඇති මේ මොහොතේදී පවා ඒ පිළිබඳව දක්වා ඇති සැළකිල්ල ප්‍රමාණවත් යැයි අප විශ්වාස නොකරමු.

ඉහත තත්ත්වයන්ද සැළකිල්ලට ගෙන ඉදිරි කාලය තුල කොරෝනා වසංගතයෙහි අපේක්ෂිත වෙනස්කම් වලට සාපේක්ෂව වෛද්‍ය රසායනාගාර සේවාවේ පූර්ව වශයෙන් සළකා බැලිය යුතු පහත විශේෂ අංශයන් පිළිබඳව ඔබගේ දැඩි අවධානය යොමු කරවමු.
1. කිසියම් ක්‍රමවේදයකට අනූව නැවත රට යථා තත්ත්වයට පත්වීමේදී අපේක්ෂා නොකරන ආකාරයෙන් රටේ විවිධ ස්ථාන වලින් වරින් වර රෝගීන් හමු වීමේ විභවතාවයක් පවතින බැවින් සැළසුම් සහගත ලෙස එකතු කර ගන්නා නිදර්ශක මඟින් රෝගීන් හඳුනා ගැනීමේ දැනට අනුගමනය කරනු ලබන සාම්ප්‍රදායික ක්‍රමවේදය ප්‍රමාණවත් නොවිය හැකි බැවින් ඒ පිළිබඳ විධිමත් සැළසුමක් සකස් කර ගැනීම.

2. රට තුල කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම පාලනය කලද ආගමන හා විගමන කටයුතු යථා තත්ත්වයට පත් වීමේදී පූර්ව වශයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ දේහ උෂ්ණත්වය මත පදනම්ව රෝග නිර්ණය කිරීම කිසිසේත්ම සාර්ථක ක්‍රමයක් නොවන බැවින් ගුවන් තොටුපල පරිශ්‍රයේ බහුවිධ රසායනාගාර ක්‍රමවේදයන්ගෙන් සමන්විත රසායනාගාරයක් හා වෛද්‍ය පරීක්ෂණ ක්‍රමවේදයන් ස්ථාපිත කිරීම සඳහා වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ දායකත්වය ලබා ගැනීම.
තවද, කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා ක්ෂණික පරීක්ෂණ ක්‍රමවේදය භාවිතා කිරීම පිළිබඳව විශාල විවාදයක් නිර්මාණය වී ඇතත් පරීක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳව නිසි වෘත්තීය නිපුණත්වයක් නොමැති පුද්ගලයන් මඟින් එකී පරීක්ෂණ සිදු කරවීම හේතුවෙන් රටවල් කිහිපයක එම ක්‍රමවේදය අසාර්ථක වුවත්, වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන් හරහා සැළසුම් සහගත වැඩපිළිවෙලක් යටතේ එම පරීක්ෂණ ක්‍රමවේදය භාවිතා කිරීමෙන් පවා රෝග නිවාරණයට අදාලව නිසි ප්‍රතිඵල ලබා ගත හැකි බව අවධාරණය කරමි.


No comments:

Post a Comment